තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (23) නිමාවට පත් විය. ඒ අනුව කහටගස්දිගිලිය ටික්කම්පොතාන, රඹෑව දිවියාඋඩබැන්දවැව සහ තණමල්විල දියවර ගම්මානය යන ප්‍රදේශයන්හිදි තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ මූල්‍ය අනුග්‍රහය මත නාවික හමුදා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලදි. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් එම ප්‍රදේශයන්හි පවුල් 1350 කට පමණ පිරිසිදු පානිය ජලය නොමිලේ ලබාදෙනු ලබයි.

වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මේ දක්වා ජල පිරිපහදු යන්ත්‍ර 74 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 34,500 කට සහ පාසැල් දරුවන් 26,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී. තවද, මෙම ප්‍රජා සත්කාරක සේවාව දිවයිනේ අනෙකුත් ආයතනයන් හා දෙපාර්තමේන්තු සඳහා මහත් ආදර්ශයක් බවට පත්ව ඇති අතර, නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම සත්කාරක වැඩසටහන ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත.