නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවන් 2 ක් සහ නීති විරෝධී දැල් 2 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, එදිනම නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් දසදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවන් 3 ක් සහ නීති විරෝධී දැල් 2 ක්ද අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.