නාවික හමුදාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්‍රධානී සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී හමුවෙයි

2016 සැප්තැම්බර් මස 21 වන දින සිට 23 වන දින දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පැවැත්වෙන 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් මහතා සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් මහතා හමුවිය.

එහිදී නාවික හමුදාධිපතිතුමා ඔවුන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ප්‍රධාන වශයෙන් දෙරටේ නාවික හමුදා‍වන්ගේ වර්තමාන සහ අනාගත පුහුණු කටයුතු, අත්දැකීම් සහ විශේෂ හැකියාවන් හුවමාරුකර ගැනීම, සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් පැනනැගී ඇති අභියෝග සහ ‍ද්වීපාර්ෂ්වික වශයෙන් වැදගත් වන තවත් විශේෂ කරුණු රැසක් පිළිබදව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයේ තේමාව වන්නේ ශක්තිමත් සාගරික හවුල්කාරීත්වයක් යන්නයි. ඒ තුළින් ජාත්‍යන්තර වශයෙන් නාවික හමුදාවන් සහ වෙරළාරක්ෂක බලකායන් අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සම්මන්ත්‍රණය ලෝකයේ විවිධ රටවල නාවික හමුදා ප්‍රධානීන් රැස්වී ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන් අතර ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් සහයෝගීත්වයක් ඇති කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ලොව ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් ලෙස සඳහන් කළ හැක.

මෙහිදී විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයින් විසින් ඉදිරිපත් කිරීම්, කණ්ඩායම් සාකච්ඡා සහ සම්මන්ත්‍රණ වලට සහභාගී වී ජාත්‍යන්තර වශයෙන් උද්ගත වී ඇති සාගරික ගැටළු සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලබයි. මෙවර සම්මන්ත්‍රණය සඳහා ලොව නන්දෙසින් පැමිණෙන නාවික ප්‍රධානීන් 80 දෙනෙකු සහ වෙරළාරක්ෂක ප්‍රධානීන් 15 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර, ඔවුන් නිදහස් සහ විවෘත මුහුදු මාර්ගයන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා සහ නාවික හමුදාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් සහ අධි සහයක, කපිතාන් බුද්ධික ලියනගමගේ මහතා ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එක්වී ඇත.

නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් මහතා හමුවීම

 

 

 

 

 

 

 

 

 

 

ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී, අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් මහතා හමුවීම