ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතාවට ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ඊයේ (16) යොදවන ලදී.

මෙම ජංගම ‍ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයේ විශේෂත්වය වනුයේ ගංගා සහ වැව් ආශ්‍රයෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කර මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ලබාදීමට හැකිවීමයි. මෙහි ධාරිතාවය ලීටර් 10,000 ක් වන අතර හම්බේගමුව ප්‍රදේශයේ වාසය කරන ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට එමඟින් හැකියාව ලැබෙනු ඇත. මෙම යන්ත්‍රයේ සියළු නඩත්තු කටයුතු ගිණි‍කොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් සිදු කරනු ලබයි.

නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉදිරි සති කීපය ඇතුලත තවත් මෙවැනි ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් පමණ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ලබාදීමට කටයුතු කරමින් පවතී. තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තවත් ඉදිරි පියවරක් ලෙස සූර්යය බල ශක්තිය මගින් ක්‍රියා කරන ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සහ මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත්කළ හැකි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ඉතා කෙටි කාල සීමාවකින් මහජනාවගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට ද මේ දිනවල කටයුතු සිදු කරමින් සිටී.