නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (5) නාවික හමුදාව සමත්විය. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් චැපල් දූපතට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු වල නිරත පුද්ගලයන් 10 දෙනෙකු, ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඉරණතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් කුඩා යාත්‍රාව (වල්ලම) සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත්විය. එම පුද්ගලයන් සහ යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.