පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සංගමය මගින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (4) දින නාවික හමුදා මූලස්ථානයේදී සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි මල පිළිගන්වන ලදී.

ප්‍රථම ලෝක සංග්‍රාමය හමුවේ සටන්බිමේදී තම රත් පැහැ රුධිරය වගුරවමින් ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරලීමේ අරමුණින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානය වන විට සිය මව්බිම වෙනුවෙන් දිවි දුන් සියළුම රණවිරුවන් සිහිපත් කිරීම සහ ඔවුන්ගේ එම කැපකිරීම අගයකරනු වස් පවත්වනු ලබයි. මව්බිමේ ආරක්ෂාව සඳහා රණවිරුවන් සිදු කළ කැපවීමට කෘතවේදීත්වය පළකරමින් පොපි මල් අලෙවියෙන් ලැබෙන මුදල් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යෙදවීමට කටයුතු කරනු ලැබේ.