නාවික හමුදාධිපතිතුමන් විසින් තලාවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් තලාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තලාව මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (29) එම විද්‍යාලභූමියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ එය විවෘත කිරීමට කටයුතු කරන ලදී.

වකුගඩු ආශ්‍රිත රෝගයන් ඉතා බහුලව පවතින මෙවැනි ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින බැවින්, නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය තලාව මහා විද්‍යාලයේ ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙමගින් එම පාසලේ ඉගනුම ලබන දරු දැරියන් 1800 දෙනෙකුට සහ ගුරුවරුවන් 150 දෙනෙකුට මෙන්ම ප්‍රදේශයේ පවුල් 350 කට පමණ පිරිසිදු පානිය ජලය ලබා දිමට අපේක්ෂා කෙරේ.

එම අවස්ථාවේදී අන්තර්ජාලය මගින් රැස්ව සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේ මෙම වසර අවසන් වන විට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් අඩු පිරිවැයක් දරමින් ඉතා උසස් ලෙස නිෂ්පාදනය කරනු ලබන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 50 ක් රජරට ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතා සඳහා ලබා දිමට බලාපොරොත්තු වන බවය. තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය තවත් පියවරක් ඉදිරියට තබමින්, ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කර පදවිය සහ ශ්‍රීපුර යන ප්‍රදේශයන්හි පාසල් දරුවන් සදහා කඩිනමින් පිරිසිදු පානිය ජලය ලබා දිමට කටයුතු කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර, දැනට නිෂ්පාදනය කර ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය වෙනුවට සුර්ය බල ශක්තිය උපයෝගී කර ගනිමින් ක්‍රියා කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර තනා ලබා දිමට ද ඉදිරියේදී කටයුතු කරන බව එතුමා වැඩි දුරටත් සඳහන් කරන ලදි.

ගරුතර සංඝරත්නය, උතුරුමැද නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, තලාව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන්, දුවා දරුවන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.

.