නාවික හමුදාධිපතිතුමා බංගලාදේශ නෞකාවේ සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (6), මෙරටට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාවෙහි චාරිකාවක නිරත විය. එහිදී නෞකා‍වේ අණදෙන නිලධාරීන් කපිතාන් ජේඒ සාම්දානී මහතා විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ගංවතුරින් සහ නාය යෑම් වලින් විපතට පත් ශ්‍රී ලාංකික ජනතා‍වට සහන සැලසීම සඳහා අවශ්‍ය ආධාර රැගෙන එම නෞකාව දිවයිනට සේන්දූ වූ අතර, දෙරටේ රාජ තාන්ත්‍රික මෙන්ම නාවික හමුදාවන් අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජල ගැලීම් වලින් සහ නාය යෑම් වලින් අසරණ තත්ත්වයට පත් ජනතාව වෙනුවෙන් ඔවුන් විසින් ද්‍රව්‍යමය අධාර ලබාදීම සම්බන්ධයෙන් එහිදී නාවික හමුදාධිපතිතුමන් සිය හෘදයාංගම ස්තුතිය ද පුද කෙරිණි. එමෙන්ම මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

නාවික හමුදා අධ්‍යක්ෂ ‍ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු අස්ලම් පර්වේස් මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ බංලගාදේශ නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.