නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

නාවික හමුදා මූලස්ථානයට අනුයුත්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත පත්වීම් ලිපි හා සේවා ඇගයීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (3) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී නාවික හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂිකා, දේවිකා ලියනගේ මහත්මිය විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මේ අවස්ථාවේදී, සිවිල් සේවක මහත්ම මහත්මීන් 48 දෙනෙකු වෙත පත්වීම් ලිපි ලබාදීම, වසර 30ට වඩා වැඩි සේවා කාලයක් ඇති සිවිල් සේවක මහතුන් 20 දෙනෙකු හට සේවය ඇගයීමේ සමරු තිළිණ හා 2015 වර්ෂයේදී හොඳම පැමිණිම වෙනුවෙන් සිවිල් සේවකයන් 5 දෙනෙකුට ප්‍රසංශාත්මක ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදී.

ඉන් අනතුරුව සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, නාවික හමුදාවේ රාජකාරීන් හා පරිපාලන කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහා ඔවුන් දක්වන සහයෝගය හා කැපකිරීම් පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කරන ලදී. නාවික හමුදාවේ උන්නතිය සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සුභසාධනය ඉහළ නැංවීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා සිවිල් ‍සේවා කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ සේවය හා නොමද දායකත්වය අපේක්ෂා කරන බවද එතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සිවිල් පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.