සිලාවතුර හා මුල්ලිකුලම් අතර මුහුදු තීරයේ දී කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

සිලාවතුර හා මුල්ලිකුලම් අතර ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී කිලෝග්‍රෑම් 120ක පමණ බරින් යුත් කේරළ ගංජා තොගයක් සමග ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. තවද, එම ප්‍රදේශයේදීම මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා අත්අඩංගුවට පත් විය. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික යාත්‍රාවක් මගින් ඊයේ (4) රාත්‍රී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි. මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට උත්සාහ දරන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි.

මෙම කේරළ ගංජා තොගය, ඉන්දීය ජාතිකයින් පස්දෙනා හා ශ්‍රී ලාංකික ජාවාරම්කරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.

නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට හැකිවී ඇත. නිරන්තර අවධානයෙන් රාජකාරී කරන නාවික පුද්ගලයින් නිසා මුහුදු මගින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් රාශියක් වළකාලීමටත්, එම ජාවාරම් සිදුකරන ප්‍රධාන පෙළේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත. 2016 වසර තුළ අවස්ථා 13කදී සිදුකළ මෙවැනි සෝදිසි කිරීම් තුළින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 420ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවිය.