මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අධිකාරියට පත් කෙරේ
 

ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් හදාරන ලදුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව ලැබූ 29 වන සහ 30 වන බඳවා ගැනීමට අයත් නාවික මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු අද (3) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. නාවික සම්ප්‍රදායන්ට, නාවික හමුදාවට පමණක්ම ආවේණික වූ රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් ලෙස පැවති මෙය ඉතා විචිත්‍රවත් අන්දමින් සංවිධානය කොට තිබුණි.

රැස්ව සිටි පිරිස ඇමතූ ගරු අග්‍රාමාත්‍යතුමන්, පවසා සිටියේ අද දින අධිකාරියට පත් වූ නව නාවික නිලධාරීන් හට තම සුභාශිංසන එක් කරන බවත්, තරුණ නාවික නිලධාරීන් වශයෙන් ඉදිරියේ දී නාවික හමුදාවේ අභිමානයට හා සම්ප්‍රදායන්ට ගරු කරමින් මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කළ යුතු බව සහ ජාතියේ අවශ්‍යතාවයන්ට අනුව අනාගතයේ දී ආදර්ශමත් නිලධාරීන් පිරිසක් වශයෙන් කටයුතු කරනු ඇති බවත් ය. තව දුරටත් අදහස් දැක්වූ එතුමා, තම මාතෘ භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය වෘත්තීය දැනුම ලබා ගනිමින් ඔවුනට පැවරෙන රාජකාරීන් කාර්යක්ෂමව ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද වැඩිදුරටත් සඳහන් කරන ලද අතර, රටේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය උදෙසා නාවික හමුදාවට තම දරුවන් දායාද කළ දෙමාපියන් හට සිය කෘතවේදී ස්තුතිය පුද කරන බව ද ප්‍රකාශ කරන ලදී.

නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, යමුණා විජේගුණරත්න මහත්මිය, නැගෙනහිර නාවික විධාන ආඥාපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් ද මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන සහ තිළිණ ප්‍රධානය කළ අතර, මධ්‍ය නිලධාරී අයිඑස් ප්‍රේමරත්න සමස්ත විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් සම්මානනීය අසිපත හිමි දක්ෂතම මධ්‍ය නිලධාරියා හා නාවික විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා ලෙස සම්මාන හිමි කරගත් අතර, දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් මධ්‍ය නිලධාරී එච්එම්වයිඑන් සේනාරත්න සහ හොඳම ඉලක්කරු වශයෙන් මධ්‍ය නිලධාරී එල්එච්එම්අයි හග්ගල විසින් එහිදී සම්මාන ලබා ගන්නා ලදී.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශණයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව උත්සවාකාරයෙන් සිදු කරන ලද හිරු අස්ථය චාරිත්‍රයත් සමගින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය.