නාවික හමුදාව වෙනුවෙන් ඉදිවන නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂක නියෝජිතයින් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ නිරීක්ෂණ චාරිකාවක

ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත "2016 ආරක්ෂක ප්‍රදර්ශණයට" (Defence Expo 2016) සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ ඉදිවන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන් හි ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා මාර්තු මස 27 වන දින චාරිකාවක නිරත විය. මෙම අධි තාක්ෂණික නෞකාවන්ගෙන් එක් නෞකාවක් 2017 අගෝස්තු මාසයේදීත්, අනෙක් නෞකාව 2018 වසරේදීත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බලමුළුවට එක් වනු ඇත. මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිස ගෝව නැව් තඨාකාංගණයේ සභාපති තුමන්, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂක ඇතුළු තඨාකාංගණ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නෞකාවන් නිරීක්ෂණය සඳහා කැඳවාගෙන යනු ලැබිණි. එහිදී අමාත්‍යතුමන් ඇතුළු පිරිස නෞකාවන් හි ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳව සුහද සාකච්ජාවක නිරත විය. ඉන් අනතුරුව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙනුවෙන් ඉදිවන තවත් එවැනිම නෞකාවක ඇති පහසුකම් හා උපකරණ පිළිබඳව නිරීක්ෂණය සඳහා ද ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිස එක් විය.