නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

කිලිනොච්චිය, කිරංචි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සහ කුඩා ඔරුවක් ද සමග උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (25) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා, යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි කටයුතු සඳහා කිලි‍නොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

එදිනම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සාම්පූර් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් දෙදෙ‍නෙකු, ධීවර කටයුතු සඳහා යොදාගත් කුඩා යාත්‍රාවක් හා පොකිරිස්සන් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා සාම්පූර් පොලිස් ස්ථානය වෙත භාර‍දෙන ලදී.