පලෙයිතිව් මංගල්‍යයට නාවික හමුදාව පහසුකම් සපයයි
 


පලෙයිතිව් දූපතේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. යාපනය දියෝකීසියේ අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන් හි පැවැති මෙවර දේව මංගල්‍යය සඳහා සාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජක වසන්ත් පියතුමන් ප්‍රමුඛ රෝමානු කතෝලික බැතිමතුන් දස දහසක් පමණ සහභාගී විය.

උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත, නාවික හමුදාව මගින් බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, විදුලි බල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා වෛද්‍ය පහසුකම් ලබාදීම සිදු කෙරිණි. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව කටයුතු කොට තිබුණි. දේව මංගල්‍යය අවසන් වීමෙන් පසුව දේවස්ථානය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී.