නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 
 

පසුගිය 17 වන දින මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “මරිනි දුව 01” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් අද (27) සවස කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාව පිටත්කර යැවීමට කටයුතු කළ අතර ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115 පමණ දුරකදී රෝගියා නන්දිමිත්‍ර නෞකාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව වේග ප්‍රහාරක යාත්‍රාවකද සහාය ඇතිව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කෙරිණි.