සැපයුම්, භාණ්ඩ හා සේවා සම්මන්ත්‍රණයක් ප්‍රථම වරට ත්‍රිකුණාමළයේදී පවත්වයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 2016 සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ සම්මන්ත්‍රණය ත්‍රිකුණාමළය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (26) පැවැත්විණි. “සමකාලීන සැපයුම් ප්‍රවර්ධනය, භාණ්ඩ හා සේවා කළමණාකරණය: අභියෝග සහ අවස්ථා” යන තේමාව යටතේ පැවැත්වූ මෙම සමුළුවට සැපයුම් හා භාණ්ඩ සේවා ක්ෂේත්‍රයේ ‍දෙස් විදෙස් නියෝජිතයින් රැසක් සහභාගී විය.  ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල නාවික නියෝජිතයින් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නාවික හමුදා ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යවසායකයින්, රාජ්‍ය ආයතන නියෝජිතයින්, ශ්‍රී ලංකා යුද හමුදා නියෝජිතයින් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජිතයින් මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ කීර්තිමත් විද්වතුන් විශාල පිරිසක් ද මෙම සමුළුවට එක් විය. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වූ අතර, එහි ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.  

සැපයුම් හා සේවා ක්ෂේත්‍රය පිළිබඳ ඇති දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රනය සංවිධානය කළ අතර, ඒ සඳහා සහභාගී වන සියළුම දෙනාගේ දේශන හා සාකච්චා තුළින් ඔවුනොවුන්ගේ හැකියාවන් හා දැනුම් සම්භාරයන් හුවමාරු කර ගැනීමට එතුළින් අවස්ථාව සැලසිණි. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේ අරමුණු අතර, සැපයුම් හා භාණ්ඩ සේවා ක්ෂේත්‍රයේ නව වර්ධන ප්‍රවනතාවයන් පිළිබඳව එම අංශයන් හි නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම, සැපයුම් හා භාණ්ඩ සේවා පිළිබඳ අනෙකුත් අංශ නිලධාරීන් සතු දැනුම ඉහළ නැංවීම, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් ඉදිරිපත් කරන දේශන හා නිබන්ධන තුළින් සැපයුම් හා සේවාවන් පිළිබඳ දැනුම සහ තාක්ෂණික කුසලතාවයන් උකහා ගැනීමට හා හුවමාරු කර ගැනීමට එකිනෙකා හට අවස්ථාව සැලසීම, ක්ෂේත්‍රයට අදාල නිබන්ධන පත්‍රිකා නාවික හමුදා නිලධාරීන් හට ඉදිරිපත් කිරීමට හැකි වේදිකාවක් සකසා දීම මෙන්ම, නාවික හමුදාව හා සම්බන්ධ වී කටයුතු කරන දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන වලට සම්මන්ත්‍රනය සඳහා පර්යේශණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම හා එමගින් භාණ්ඩ හා සැපයුම් සේවා විෂයය ක්ෂේත්‍රයට අදාලව නාවික හා සාගරික විද්‍යාපීයේ සහ නාවික හමුදාවේ ප්‍රතිරූපය වෘත්තීමය වශයෙන් ඉහළ නැංවීම, සැපයුම් හා භාණ්ඩ සේවා කළමණාකරණ ක්ෂේත්‍රයේ අභියෝග හා ඒවා හඳුනාගැනීම යන කරුණු ප්‍රමුඛතාවයක් ගන්නා ලදී.