තෙල් කාන්දුවීම් සිද්ධීන් කළමනාකරණය කිරීමේ අභ්‍යාසය
 

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා කාර්යංශයේ සහාය ඇතිව ජපාන වෙරළාරක්ෂක බළකායේ මගපෙන්වීම යටතේ තෙල් කාන්දුවීම් කළමනාකරණය කර ගැනීම සම්බන්ධ අභ්‍යාසයක් අද (29) දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා මෙම අභ්‍යාසය නැරඹීම සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු කෙනිචි සුගනුමා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතාද එම අවස්ථාව සඳහා එක්විය.

මුහුදට තෙල් කාන්දුවීම තුළින් සාගර පරිසරය විනාශ වීම අද ලෝකයට ප්‍රධාන තර්ජනයක් වී ඇති අතර, ලෝකය පුරා නෞකාවන්ගේ හදිසි අනතුරු සහ විවිධ හේතූන්මත සාගරයට තෙල් එකතුවනු ලබයි. එය මගින් සමුද්‍රීය පරිසරයට දැඩි විනාශකාරී බලපෑම් එල්ල කරනු ලබයි. සාගරයට මුදාහැරුණු තෙල් කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම සිදු නොවුන හොත් එහි බලපෑම සාගරික පරිසරයට දීර්ඝ කාලීන තර්ජනයක් වනු ඇත. ශ්‍රී ලංකාව ‍ජාත්‍යන්තර මුහුදු සීමාවට ආසන්නයේ පිහිටා තිබීම තෙල් කාන්දුවීම් සිද්ධීන් කළමනාකරණය කිරීම සඳහා කඩිනමින් සූදානම්ව සිටීමට වැදගත් වේ. ඒ අනුව ආපදා නිවාරණය සහ පාරිසරික ආරක්ෂාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ජපාන රජය විසින් ඔවුන්ගේ දැනුම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කිරීමක් ලෙස එම අභ්‍යාසය සිදුකොට ඇත.