එක්සත් ජනපද නාවික නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

නාවික හමුදා සෙබළ අංශ නාවිකයින්ගේ පුහුණු කටයුතු සඳහා 2016 වසර තුළ දී සිදු කිරීමට බලාපොරොත්තු වන පුහුණු වැඩසටහන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා එක්සත් ජනපද නාවික නිලධාරීන් පිරිසක් ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ එම නිලධාරීන් පිරිස පුහුණු කටයුතු සම්බන්ධයෙන් එතුමන් හා සුහද කතාබහක නිරත විය.

මෙම නිලධාරීන් පිරිසට මේජර් නිකලස් රොඩර්ට් නැපී මහතා, ලුතිනන් ඩෙරැක් ජෝන් චැම්බර්ලේන් මහතා, නායක ප්‍රධාන සුළු නිලධාරී ක්‍රිස්ටෝපර් ලී විල්සන් මහතා සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගීතා අංශ නිලධාරී ලුතිනන් ඩේවිඩ් ආර් චෙසන් මහතා ද ඇතුළත් ය. ශ්‍රී ලංකා නාවික හමුදාව වර්තමානයේ සාගරික බළකායක් සඳහා වන පුහුණු වැඩසටහන් මුල්ලිකුලම් ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන අතර, ඒ සඳහා ඇමරිකානු නාවික හමුදාව ද සිය සහයෝගය ලබා දෙයි.

මෙහිදී එම නිලධාරීන් විසින් 2016 ජූලි මස 11-14 යන දිනයන් හි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා හිදී පැවැත්වීමට නියමිත ශාන්තිකර කලාප ජලජ හා ගොඩබිම් සංග්‍රාම පිළිබ‍ඳ නායකයින්ගේ සමුළුව සඳහා සහභාගී වීමට නාවික හමුදාධිපතිතුමන් වෙත ඇරයුම් කිරීම ද සිදු කෙරිණි. මෙම සමුළුව අන්තර්ක්‍රියාකාරී හැකියාවන් වැඩිදියුණු කර ගැනීම, සහයෝගීත්වය ඉහළ නැංවීම හා දැනුම් හුවමාරු කර ගැනීම මූලික කරගනිමින් පවත්වනු ලබන්නකි.