වයඹ නාවික විධානය රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව උත්කර්ශවත් අයුරින් පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා වයඹ නාවික විධානය විසින් සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 27 වන දින පුත්තලම පිහිටි ශ්‍රීලංනානෞ තම්බපණ්ණි ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සුහද හමුව සඳහා වයඹ නාවික විධානය තුළ පදිංචිව සිටින, ක්‍රියාන්විත රාජකාරියේදී ආබාධිතව විශ්‍රාම ගන්වා සිටින නාවික රණවිරු පවුල් රැසක සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද දිවි පුදකළ රණවිරුවන් සිහිකිරීම උදෙසා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් මෙම සුහද හමුව ආරම්භ විය. එහිදී රණවිරු පවුල් වල සාමාජිකයින් සඳහා සෞඛ්‍ය වෛද්‍ය සායනයක් හා දන්ත වෛද්‍ය සායනයක්ද පැවැත්වුණ අතර, වැටුප්, විශ්‍රාම වැටුප් හා රක්ෂණ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුනට ඇති ගැටළු නිරාකරණය කරගැනීමට ද අවස්ථාව සලසා දෙන ලදී.

මෙම සුහද හමුව වර්ණවත් කිරීම සඳහා සංගීත සංදර්ශනයක් මෙන්ම දරු දැරියන් වෙනුවෙන් විශේෂ විනෝදාත්මක වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබිණි.