ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත ආචාර්ය උපාධියක් ප්‍රදානය කරයි

හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, ආර්සීඩීඑස්, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්), එම්ඒ(අයිඑස්), ඩිප් ඉන් අයිආර්, ඩිප් ඉන් සීආර්, එ‍ෆ්එන්අයි (ලන්ඩන්) මහතා හට ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනැමීය. උපාය මාර්ගික අධ්‍යයනය යන විෂයය ඔස්සේ සාගරික ආරක්ෂාව යන තේමාව මුල් කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සයුරේදී සටන් වැදුනු ආකාරය අධ්‍යයනය කර ඔහු විසින් ඉදිරිපත් කරන ලද පර්යේශන නිබන්ධනය වෙනුවෙන් මෙම ආචාර්ය උපාධිය පිරිනැමිණි. ආරක්ෂක හමුදා ඉතිහාසයේ විශ්‍රාමික හමුදාපතිවරයෙකු ආචාර්ය උපාධිය ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අද්මිරාල් කොළඹගේ මහතා, නිර්භීතභාවය වෙනුවෙන් පිදෙන රණශූර පදක්කමින් මෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පළඳනා රාශියකින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වේ. එමෙන්ම ඔහු නාවික සේවයේදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ නාවික හමුදාව වෙනුවෙන් ඉටු කර ඇති විශිෂ්ඨ වූ සේවය ඇගයීමක් වශයෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් පිරිනමනු ලබන ප්‍රශංසාත්මක ලිපි බොහෝමයක් ද ලබා ඇත. 36 වසරක අභිමානවත් නොකැළැල් නාවික දිවිය තුළ ඉලක්කයන් රැසක් ජයගැනීමට හැකිවූ ඔහු ආරක්ෂක කටයුතු පිළිබඳ විද්‍යාපති උපාධියත්, ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගෙන ඇත.