උතුරු නාවික විධානයේ නාවික හමුදා සමාජ මෙහෙවර

උතුරු නාවික විධානයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂේත්‍ර අක්ෂි සායන 02 ක් මාදගල් සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලදී උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 24 සහ 25 යන දිනයන්හිදී පවත්වන ලදී.

ජෝර්ජ් ගුණරත්න සමාගමේ අනුග්‍රහය යටතේ පවත්වන ලද මෙම අක්ෂි කදවුරු වලදී අක්ෂි ආබාධවලින් පෙළුණු රෝගීන් 800 ක් පමණ පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් 400 දෙනෙකුට පමණ නොමිලේ ඇස්කණ්නාඩි බෙදා දෙනු ලැබිණී.

නාවික හමුදාව විසින් සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් කෙරෙන මෙම වැඩපිළිවෙලට දායක වීම පිළිබදව උතුරු ආඥාපතිතුමා විසින් එහිදී ජෝර්ජ් ගුණරත්න අක්ෂි සමාගමට සිය ස්තුතිය පුද කළේය.

උතුරු නාවික විධානය තුල වෙසෙන ප්‍රථිකාර ලැබිය යුතු රෝගීන් සදහා ක්ෂේත්‍ර සායනයන් පැවැත්වීම වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එම විධාන ආඥාපති වශයෙන් කටයුතු කල කාල සීමාවේදී ආරම්භ කෙරිණි. 2011 සහ 2012 යන වර්ෂයන්හි එතුමා උතුරු නාවික ආඥාපති ලෙස කටයුතු කළ අතර, එම කාලය තුල රජයේ මෙන්ම පෞද්ගලික ආයතනයන්ගේද සහයෝගය ඇතිව ක්ෂේත්‍ර සායන 75 ක් පමණ පවත්වන  ලදී. සෞඛ්‍ය සුවතාවය පවත්වාගෙන යාම සදහා උපකාර කිරීම මෙන්ම ජනතාව සහ නාවික හමුදාව අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරළීමේ අදිටනින් එතුමා විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ප්‍රදේශයේ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍රව ඇති බැවින්ද, ඉන් ලැබෙන ප්‍රතිලාභ ජනතාව තව දුරටත් අපේක්ෂා කරන බැවින්ද, අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.  .