ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කිරීම සඳහා සැප්තැම්බර් මස 25 වන දින චාරිකාවක් සිදු කරන ලදී.


වසර 86 කට පසු නිවැරදි මධ්‍යම මුහුදු මට්ටම නිර්ණය කිරීමේ මූලික පියවරක් ලෙස ජාතික පිල් සලකුණු ජාලයට එක් කිරීමේ පරමාර්ථයෙන් නාවික හමුදාව විසින් මෙම පිල් සලකුණු කන්කසන්තුරේ සහ ඩෙල්ෆ් දූපතේ ස්ථාපනය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය 2014 වසරේ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශයභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ඊඑම්ඒ බංඩාර විසින් ආරම්භ කරන ලදී. මේ වන විට සතර දිශාවම ආවරණය වන පරිදි පිල් සලකුණු හා පැය 24 පුරා වඩදිය බාදිය නිරීක්ෂණ ස්ථානයන් ස්ථාපිත කර ඇති අතර, මෙම ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමට අදහස් කර ඇත.

නාවික හමුදාවේ ව්‍යාපෘති අගය කිරීමට ලක්කල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාව වෙත සිය සහාය ඉදිරියටත් ලබා දෙන බව ප්‍රකාශ කරන ලදී.

විවිධ ආයතන සමඟ සම්බන්ධීකරණය වී ජල මානක විද්‍යා කටයුතු ප්‍රතිඵලදායී ලෙස සිදු කිරීම සඳහා එම අංශයේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් රියර් අද්මිරාල් ජයකොඩි මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම ප්‍රධාන ජල මානක නිලධාරී වශයෙන් මෑතකදී පත් කරන ලදී.