ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 සැප්තැම්බර් මස 28 වන දින කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් ධීවරයන්, ඔවුන් පැමිණි යාත්‍රාව සහ එතුල තිබූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණය මෙන්ම ස්ථාන සොයා ගැනීමේ උපකරණ (GPS යන්ත්‍ර) 03 ක් සමග කල්පිටිය නාවික කදවුරට රැගෙන ඒමෙන් පසු පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්හට භාර දීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාරවල යෙදෙන අතර, නීතිමය රාමුව තුල ශ්‍රී ලංකා ධීවරයන්හට තම ධීවර කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබා දීම සදහා මුහුදේ සිදුවන නීති වි‍රෝධී ක්‍රියා නැවැත්වීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සිය සහයෝගය සෑම විටම ලබා දීමට කටයුතු කරනු ලබයි.