උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි නාවික හමුදාධිපතිතුමන් සිදුකළ පරීක්ෂණ චාරිකාවාරය

උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි මෙහෙයුම් සූදානම හා පරිපාලන කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි චාරිකාවාරයක නිරතවිය. නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හා උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

උතුරු මැද නාවික විධානයට පැමිණි නාවික හමුදාධිපතිතුමන් එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් නච්චිකුඩා පිහිටි ශ්‍රීලංනානෞ බුවනෙක ආයතනයේදී පිළිගත් අතර, වංකාලේ පිහිටි ශ්‍රීලංනානෞ ඵුස්සදේව, මන්නාරම පිහිටි ශ්‍රීලංනානෞ ගජබා සහ තලෙයිමන්නාරම පිහිටි ශ්‍රීලංනානෞ තම්මැන්නා යන ආයතනයන්හි ආරක්ෂක සැලැස්ම, සුභසාධන කටයුතු පවත්වාගෙන යාම සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන් එහිදී නාවික හමුදාධිපතිතුමන් සිය පරීක්ෂාවට ලක් කළේය. ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන්, දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති ධජ නිලධාරීන් සඳහා ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කලේය. තම්මැන්නා ආයතනය නාවික අනුඛණ්ඩයක් ලෙස 1985 වර්ෂයේදී එවකට උප ලුතිනන්වරයෙකුව සිටි විජේගුණරත්න මහතා විසින් නාවිකයන් 17 දෙනෙකු සමග ස්ථාපනය කරන ලදී. එම අනුඛණ්ඩය අධිකාරියට පත්කිරීමෙන් පසු 1997 වර්ෂයේදී ලුතිනන් කොමාණ්ඩර් විජේගුණරත්න මහතා එහි අණදෙන නිලධාරී බවට පත්විය. එම වකවානුවේදී ගොඩබිම් ප්‍රවේශ මාර්ගයක් නොමැති ‍මෙම නාවික කදවුර තලෙයිමන්නාරම් ප්‍රදේශයේ හා යාබද මුහුදු කළාපයේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සදහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ලදී. එබැවින් මෙම නාවික කදවුර නිරන්තරව ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්විණි.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර ඇති විශේෂ යාත්‍රා බලඝණ හා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ නිලධාරීන් හා නාවිකයින් හමුවීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ සිදුකළ චාරිකාවාරය නිමාකරමින් වයඹ නාවික විධානය බලා පිටත්විය. එහිදී වයඹ නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් මුල්ලිකුලම්හි පිහිටි ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී නාවික හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, එම ආයතනයේ කටයුතු නිරීක්ෂණය කි‍රීමෙන් පසුව ‍ගගේවාඩිය පිහිටි ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානය හා කල්පිටිය පිහිටි ශ්‍රීලංනානෞ විජය යන ආයතනයන් සිය පරීක්ෂාවට ලක් කළේය. වයඹ වෙරළ තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා එම ආයතනයන්හි මෙහෙයුම් හා පරිපාලන පහසුකම් පිළිබඳව ද එහිදී නාවික හමුදාධිපතිතුමන්ගේ අවධානය යොමු කෙරිණි. මෙම චාරිකාවාරය අතරතුර, ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ ස්ථාපනය කරන ලද වයඹ නාවික විධාන මූලස්ථාන ඵලකය නිරාවරණය කිරීම නාවික හමුදාධිපතිතුමා අතින් සිදු කෙරුනු අතර, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ යාත්‍රාවන් සඳහා ඉදිකළ ජැටිය විවෘත කිරීමද ගගේවාඩිය පිහිටි එම බලඝණ මූලස්ථානයේදී සිදුකෙරිණි. මෙහිදී ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ නාවිකයින් ස්ථානගතව සිටින ආකාරය හා ඔවුන්ගේ මෙහෙයුම් සූදානම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ විමසුමට ලක්විය. වයඹ නාවික විධානයේ සිදුකළ චාරිකාවාරය නිමාකිරීමට ප්‍රථම ශ්‍රීලංනානෞ විජය ආයතනයේදී නිලධාරීන් සඳහා ඉදිකළ නිවාඩු නිකේතනය විවෘත කිරීමද නාවික හමුදාධිපතිතුමන් අතින් සිදු කෙරිණි.

දෙදින චාරිකාවාරය අතරතුර, උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි නිලධාරීන් හා නාවිකයින් ඇමතූ එතුමන් එම ප්‍රදේශයන්හි ආරක්ෂාව පවත්වාගෙන යාමට හා නීතිවිරෝධී කටයුතු වැළැක්වීම සඳහා නිරන්තර අවධානයෙන් සිටිමින් ඔවුන් සිදුකරන කැපකිරීම සිය ඇගයීමට ලක් කළේය. වෘත්තීමය නිපුණතා පවත්වා ගනිමින් ආරක්ෂක හා ජාතික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ආරක්ෂක සේවයක් ලෙස සහය විය යුතු ආකාරය එහිදී එතුමා අවධාරණය කලේය.


උතුරු මැද නාවික විධානය
 

වයඹ නාවික විධානය