වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනට නාවික හමුදාවේ සහාය

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 19දා උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ දී  පැවැත්විණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය  නිමිත්තෙන් සංවිධානය කෙරුණු මෙම ජාතික වැඩසටහනට නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමග බටහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් ආරම්භවූ මෙම ජාතික වැඩසටහන යටතේ, ගාලු මුවදොර පිටිය ප්‍රදේශයත්, මොරටුව සිට එගොඩ උයන ප්‍රදේශය දක්වාත්, කාක දූපතේ සිට මීගමුව ප්‍රදේශය දක්වාත්, කළුතර කැලිඩෝ වෙරළ තීරයත් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් පිරිසිදු කෙරිණි.

ඉතා වේගවත්ව අපවිත්‍රකරණයට ලක්වන වෙරළ, පවිත්‍ර කිරීම හා එය රැක ගැනී‍මේ අරමුණින් මෙම ජාතික වැඩසටහන ඉදිරි දින කිහිපයේද පැවැත්වීමට නියමිත අතර, අද දින පැවැත්වුණු එහි  සමාරම්භක අවස්ථාවට අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්තුමන්, යුද හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.