අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2015

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2015 අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය සැප්තැම්බර් මස 08 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ ව්‍යායාම්  ශාලාවේදී පැවැත්විණි. තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය. රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා ඇතුළු විධානයේ ‍නෞකා හා යාත්‍රාවලට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

දියත් විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ කඹ හා ගැට පිළිබඳ දැනුම වර්ධනය කිරීම, කණ්ඩායමක් වශයෙන් වැඩකිරීමේ පුරුද්ද ගොඩනැංවීම, නායකත්ව ගුණාංග ‍දියුණු කිරීම මෙන්ම ඔවුනගේ කුසලතාවයන් හඳුනාගැනීම මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණු විය.  

එක් කණ්ඩායමක් සඳහා නිලධාරියෙක්, යාත්‍රික අංශයේ නාවිකයින් තිදෙනෙක් හා වෙනත් අංශ නාවිකයෙක් ද ඇතුළත් වූ අතර, නෞකා සහ යාත්‍රා 77ක් නියෝජනය කරමින් තරඟකරුවන් 385 දෙනෙකු මෙම තරඟාවලියට සහභාගී විය. එහිදී දක්ෂතා දැක්වූ කණ්ඩායම් 05ක් අර්ධ අවසාන වටයට තෝරා ගැනුණු අතර, පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව නියෝජනය කළ කණ්ඩායම ජයග්‍රහණය කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. තරඟාවලියේ දෙවන ස්ථානය පී 4446 වේග ප්‍රහාරක යාත්‍රාව නියෝජනය කළ කණ්ඩායම දිනාගත් අතර, තරඟාවලියේ දක්ෂතම නාවිකයා වශයෙන් නායක නැවි ටීඑම්ටීඑල් දොරලියද්ද කුසලාන හිමි කර ගන්නා ලදී.