නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රිමියර් ක්‍රිකට් ශූරතාවය දිනා ගනියි

2015 ශ්‍රී ලංකා කාන්තා ප්‍රීමියර් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ අතර, ඉන් නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

මුලින් පන්දුවට පහරදුන් ගුවන් හමුදා කාණ්ඩායමට පන්දුවාර 33 කදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 85 ක් පමණි. පිළිතුරු ඉනිම ඇරඹූ නාවික හමුදා කණ්ඩායම  23 වන පන්දුවාරයේදී කඩුළු 04 ක් පමණක් දැවී තම ඉලක්කය කරා ලඟා වීමට සමත් විය. සාමාන්‍ය කාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි ලසන්ති මධුෂානි පිළිවෙලින් ලකුණු 26 ක් සහ 16 ක් ලබා ගත් අතර, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සාමාන්‍ය කාන්තා නැවි ඕෂධී රණසිංහ විසින් ලකුණු 16 කට කඩුළු 02ක් දවා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු දිවයිනේ කීර්තිමත් ක්‍රීඩා සමාජ රැසක් සහභාගී විය.