පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ට “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමේ

“විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී 2015 ජූලි මස 30 වන දින පවත්වන ලදී.

“විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමීමේ 07 වන අධියර මෙලෙස අද දින පවත්වනු ලැබූ අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගේ දූ දරුවන් 230 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන ලදී. ශිෂ්‍යත්වලාභීන් අතර යුධ හමුදාවේ පවුල්වල සිසු දරු දැරියන් 153 දෙනෙකුද, නාවික හමුදාවේ පවුල්වල සිසු දරු දැරියන් 19 දෙනකුද, ගුවන් හමුදාවේ පවුල්වල සිසු දරු දැරියන් 15 දෙනෙකු සහ පොලීසියේ පවුල්වල සිසු දරු දැරියන් 43 දෙනෙකු විය. මෙම ශිෂ්‍යත්වය සදහා රු. 25000.00 ක බැංකු තැන්පතුවක්, පාසල් බෑගයක්, පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ ඉංග්‍රීසි ශබ්දකෝෂයක්ද ඇතුලත් විය.

දේශයේ ආරක්ෂාව වෙනුවෙන් මහඟු පරිත්‍යාගයක් සිදු කල රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය බොහෝ පියවර ගෙන ඇති අතර, 1985 වර්ෂයේදී ආරම්භ කරන ලද “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩපිළිවෙල ඉන් ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. වාර්ෂිකව පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩපිළිවෙලෙහි අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ දූ දරුවන් අධ්‍යාපනය කෙරේ උනන්දු කරවීම සහ ඔවුන්ගේ කුසලතාවයන් අගය කිරීමයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් ‍කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම දෙමාපියන් සහ සිසු දරු දැරියන් විශාල පිරිසක්ද මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සඳහා සහභාගී විය.