නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබාගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර  විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (ජූලි 20) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට නාවික හමුදාධිපති තුමන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ද එක්විය.

මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට පෙර දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ නාවික හමුදාපතිතුමන්, ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව නාවික හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහ නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය. එහිදී මහ නායක හිමියන් රටේ සමිප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කරගනිමින් නව තනතුරේ රාජකාරීන් හොඳින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ නාවික හමුදාධිපති තුමන් හට කෙටි අනුශාසනාවක් ද සිදුකළ අතර, ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවායි ද පැතීය.

මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගැනීමෙන් පසු නාවික හමුදාධිපති තුමන් ඇතුළු පිරිසට ඓතිහාසික ගෙඩිගේ රජ මහා විහාරය වැඳපුදා ගැනීමට ද අවස්ථාව උදාවිය