ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සදහා ජපන් නාවික හමුදාවට අයත් “අකිසුකි” සහ “සවගිරි” යන නෞකා දෙක අද දින (2015 ජූලි 19) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකා පිළිගන්නා ලදී.

නෞකාවන්හි සමස්ථ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් “ෆුටෝෂි ටොයෝසුමි”, නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් “යෂුහරු අෂු” සහ කොමාණ්ඩර් “ත්සුයෝෂි සාටෝ” යන නිලධාරීන් බටහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතාව බටහිර නාවික විධාන මූලස්ථානයේදී හමුවීමට නියමිතය.

මෙම නෞකා හෙට දින (2015 ජූලි 20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා සමග නාවික අභ්‍යාසයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.