ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන්

නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ජාතීන් අතර එකමුතු බව හා සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් දමිළ හා මුස්ලිම් ජනයා උදෙසා ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක  සංවිධානය කෙරිණි.

ඒ අනුව ඩෙල්ෆ්ට් දූපතේ ස්ථාපිත කර ඇති නාවික මැහුම් මධ්‍යස්ථානයේ සේවය කරන දමිළ තරුණියන් හට 2015 ජූලි මස 12 වන දින දිවා ආහාරය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එම මැහුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා එවකට උතුරු නාවික පෙදෙසභාර ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළ වත්මන් නාවික හමුදාධිපතිතුමන් සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත. එමගින් ප්‍රදේශයේ ජීවත්වන දමිළ තරුණියන් රැසකට ස්ථීර රැකියා අවස්ථා ලබාදීමට නාවික හමුදාවට හැකියාව ලැබුනු අතර, නව පත්වීම් ලද එතුමන් හට සිය සුභ පැතුම් හා කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ඔවුන් ප්‍රකාශ කරන ලදී. තවද ඩෙල්ෆ් මහා විද්‍යාලයේ සිසුන් හා කාර්ය මණ්ඩලයට සිසිල්පැන් සංග්‍රහයක් ලබාදීමට නාවික හමුදාව කටයුතු කළ අතර, පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදාවෙන් නිරතුරුව ලබාදෙන අනුග්‍රහය සිහිපත් කරමින් ඔවුන් නාවික හමුදාව සමග සිය සතුට බෙදා ගන්නා ලදී.

මේ අතර, රාමසාන් ශුද්ධ මාසය සමරමින් සිටින ඉස්ලාමීය බැතිමතුන් හට චාරිත්‍රානුකූලව ලබාදෙන ඉෆ්තාර් නම් වූ සන්ධ්‍යා ආහාර වේල ලබාදීමද ජූලි මස 13 වන දින නාගදීප මුස්ලිම් පල්ලියේ දී සිදුකෙරිණි. එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට නිරෝගී සුවය හා නාවික හමුදාව ඉතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ලබාදෙන මෙන් දෙවියන් හට යාඥා කිරීමද සිදු කෙරිණි.

එමෙන්ම, යාපනය, මඩකලපුව හා අම්පාර ප්‍රදේශයන් හි සිට කතරගම දක්වා වාර්ෂික පාද වන්දනාවේ යෙදී සිටි හින්දු බැතිමතුන් 300 දෙනෙකු හට ඔකඳ මුරුගන් කෝවිලේදීත්, 450 දෙනෙකු හට  කැබිලිත්ත කෝවිලේදීත් දිවා ආහාරය ලබාදීමද සිදු කෙරිණි. එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට සිය ආශිර්වාදය පුදකිරීම ද සිදු ‍කරන ලදී.