රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 දෙසැම්බර් මස 30 වන දින අළුයම මුලතිවු පුදුකුඩුඉරිප්පු, සුහන්දිරපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගෝඨාභය ආයතනය මගින් මුලතිවු පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2021 දෙසැම්බර් මස 30 වන දින අළුයම පුදුකුඩුඉරිප්පු, සුහන්දිරපුරම් කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී යතුරුපැදි තුනක් (03) මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මඟින් දේශීයව නිශ්පාදිත නීති විරෝධී ගිනි අවියක් සමඟ තවත් සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 26කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 43ත් අතර වයස්වල පසුවන විශ්වමඩු දකුණ, උදයාර්කට්ටු, උදයාර්කට්ටු දකුණ සහ මුංගිලාරු දකුණ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් කේරළ ගංජා තොගය, යතුරුපැදි සහ ගිනි අවිය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.