කේරළ ගංජා කිලෝ 275 ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2021 දෙසැම්බර් 06) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 275ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාව මඟින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අද උදෑසන (2021 දෙසැම්බර් 06) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව නාවික හමුදාව විසින් පරික්‍ෂා කිරිමට යාමේදී එම මුහුදු ප්‍රදේශයෙන් පලා යාමට උත්සාහ කරන ලද අතර, උතුරු නාවික විධානයට අනුයුක්ත පී 055 වෙරළබඩ මුර යාත්‍රාව ‍මඟින් පලා යාමට උත්සහකළ එම ඩිංගි යාත්‍රාව සැකකරුවන් දෙදෙනෙකු සමගින් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

අනතුරුව එම මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැඩි දුර සෝදිසි මෙහෙයුම් මඟින් මුහුදේ පාවෙමින් තිබූ ගෝනි මළු 7ක පාර්සල් 110ක අසුරා තිබූ කේරල ගංජා කිලෝ 275ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට හැකි වූ අතර, එලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 82කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

තවද, ‍සැකකරුවන් විසින් නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙම කේරළ ගංජා තොගය සහිත ගෝනි මළු මුහුදට දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් සහ 37ක් වන මාදගල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.