පසුගිය මස නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 85 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 85 ක් සහ ධීවර යාත්‍රා 24 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව නාවික හමුදාව විසින් පසුගිය නොවැම්බර් මාසය තුළ සිදුකළ මෙහෙයුම් මඟින් වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම සහ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 50 ත් අතර වයසේ පසුවන පොතුවිල්, කුඩාව, පුල්මුඩේ, නිලාවේලි, ත්‍රිකුණාමලය, මීගමුව, දැදුරුඔය, මන්නාරම, යාපනය, පානම, මුන්දලම්පිඩ්ඩි, ගුරුනගර්, ඉරනමාතානගර්, පියදිගම සහ ගිංතොට යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පොතුවිල්, කල්පිටිය, මුලතිවු, ත්‍රිකුණාමලය, මන්නාරම, පේදුරුතුඩුව, කිළිනොච්චි සහ ගාල්ල ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, පේසාලේ සහ මුලන්කාවිල් පොලිස් ස්ථාන වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.