නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4400ක පමණ තොගයක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 30 වන දින යාපනය, කකරතිව් දුපතේ සහ 2021 නොවැම්බර් මස 03 වන දින පුත්තලම, කුදිරමලේ තුඩුව හා මන්නාරම, කුදුඉරුප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 4400ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) සහ යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණයේ නාවිකයන් විසින් 2021 ඔක්තෝබර් මස 30 වන දින යාපනය, කකරතිව් දුපතේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම දුපතේ අතහැර දමා ගොස් තිබූ නිතී විරෝධි ලෙස රැගෙන එන ලද උර 12ක අසුරා තිබූ වියලි කහ කිලෝ 616 ග්‍රෑම් 640ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත පි 261 සහ පි 232 වෙරළ බඩ මුර යාත්‍රා, විශේෂ යාත්‍රා බලඝණ නාවිකයන්ගේ ද සහය ඇතිව 2021 නොවැම්බර් මස 03 වන දින කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ මුර සංචාරයක් සිදු කරන ලදී. එහිදි අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල්ව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක තිබි නීතී විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 105ක අසුරන ලද වියලි කහ කිලෝ ග්‍රෑම් 3408ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම වියලි කහ තොගය මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණ නාවික පුද්ගලයන් කණ්ඩායමක් විසින් Z 192 සහ Z 207 දරණ සෙඩ්ඩ්‍රික් යාත්‍රාවන් යොදා ගනිමින්, 2021 නොවැම්බර් මස 03 වන දින මන්නාරම, කුදුඉරුප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ උර 09ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 376 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) එම ඩිංගි යාත්‍රාව ද සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් ඩව් යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් පස්දෙනා (05) කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත් කර හැරීමට කටයුතු කරන ලදි. එමෙන්ම, මන්නාරම, කුදුඉරුප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදා භාරයටගත් කහ තොගය සහ වයස අවුරුදු 31 සහ 41 යන වයස්වල පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගන්නා සැකකරුවන් තිදෙනා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි. තවද, ඉන්දීය ඩව් යාත්‍රාවේ තිබි සහ යාපනය, කකරතිව් දුපතේ දී නාවික හමුදා භාරයට ගත් වියලි කහ ‍තොග ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් තවදුරටත් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.