නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 112 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2021 ඔක්තෝබර් මස 01 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා කාලය තුළ බටහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 112 ක්, ලොරි රථයක් සහ ධීවර යාත්‍රා 26ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් වියලි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය, නීති විරෝධි ධීවර ආම්පන්න ප්‍රවාහනය, වියලි මෝර මසුන් සහ මෝර වරල් සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී දැල් භාවිත කිරීම සහ තහනම් ප්‍රදේශයන්හි ධීවර කටයුතු සිදු කිරීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19ත් 59ත් අතර වයසේ පසුවන කඩකර්ච්චේනෙයි, කට්ටපරිච්චාන්, කල්පිටිය, ත්‍රිකුණාමලය, නිලාවේලි, මන්නාරම, මුලන්කාවිල්, ඉච්චලම්පත්තු, කුච්චවේලි, පොඩුවකට්ටු, බේරුවල, තලෙයිමන්නාරම, වලලායි, ඉච්චම්පටාර්, කදිරවේලි, තෝපුර්, මුතූර්, කින්නියා, තොඩුවාව, මහවැව, චීන වරාය, තංගල්ල සහ කාත්තන්කුඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ත්‍රිකුණාමලය, කුච්චවේලි, මන්නාරම, මුලතිව්, මයිලඩි සහ කිරින්ද, යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත් සාම්පුර්, තලංගම, නිලාවේලි හා කාත්තන්කුඩි පොලිස්ථාන වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි ඉදිරියටත් නිරත්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.