ප්‍රදේශ කිහිපයක සිදු කළ නාවික හමුදා මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දෙසතිය තුල (2021 ඔක්තෝබර් මස 16 සිට 28 දක්වා) උතුරු මැද, සහ වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයන් ‍හත් ‍දෙනෙකු (07) සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1120ක පමණ තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් මන්නාරම, සෙබස්තියන්පුරම් වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 16 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සහ ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රි ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් මැරීන් කණ්ඩායමක් මඟින් මන්නාරම, උසිමුකන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 706ක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනියුක්ත විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් 2021 ඔක්තෝබර් මස 28 වන දින රාත්‍රියේ කල්පිටිය නාවක්කාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක තිබී උර 24ක අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1120 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම සහ ඉරනතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහ කිලිනොච්චි ධීවර පරික්‍ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලදී. තවද, කල්පිටිය නාවක්කාඩු වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත.