නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 25 වන දින කල්පිටිය, ඉප්පන්තිවු දූපතට ඔබ්බෙන් වූ කළපු ප්‍රදේශයේ සහ වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් සහ ධීවර යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය මඟින් 2021 ඔක්තෝබර් මස 25 වන දින රාත්‍රියේ Z 229, Z 245 සහ ‍Z 246 යන සෙඩ්ඩ්‍රික් යාත්‍රා යොදවා කල්පිටිය, ඉප්පන්තිවු කළපු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම යාත්‍රාවේ තිබී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මළු 05ක අසුරන වියලි කහ කිලෝ 160ක පමණ තොගයක් (තෙත බර සහිත) සොයා ගැනීමට හැකි වූ අතර, ඒ අනුව එම වියලි කහ තොගය, ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනතුරුව, ඉප්පන්තිවු වෙරළ ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මඟින්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් එම වෙරළ තීරයේ අතහැර දමා යන ලද තවත් ධීවර යාත්‍රා දෙකක (02) තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මළු 25 ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 840ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම යාත්‍රා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදාව සිදුකළ මෙම සමස්ථ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1000ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ධීවර යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් කල්පිටිය, ඉප්පන්තිවු කළපුවේදී නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 26 සහ 34 යන වයස් වල පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා (02), වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී. තවද, ඉප්පන්තිවු වෙරළ ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගන්නා ලද වියලි කහ තොගය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.