නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් 2021 ඔක්තෝබර් මස 19 වන දින අළුයම යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබූ උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 601 ග්‍රෑම් 150 ක පමණ තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒ අනුව එම වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය මඟින් 2021 ඔක්තෝබර් මස 19 වන දින පුත්තලම, කෝලන්කනත්ත වෙරළ තිරයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් වෙරළ ආශ්‍රිත ළදු කැලෑවක සඟවා තිබූ ගෝනි මළු 25ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 750ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් පිරිසක් එක්ව 2021 ඔක්තෝබර් මස 19 වන දින මන්නාරම, යහප්පර් වෙරළ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එම වෙරළ තීරයට ආසන්න මුහුදේ දමා ගොස් තිබූ මළු 10ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 921 ග්‍රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.