නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට, නාවික හමුදාව විසින් පෙරදින සවස් කාලයේ සමත් වූ අතර, එම අනතුර හේතුවෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික හමුදාව විසින් සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටී.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ඔක්තෝබර් මස 18 වන දින සවස් කාලයේදී කටයුතු කරන ලදී. මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා නාවික හමුදා යාත්‍රා මඟහැරීමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් මුහුදේ පැවති රළු මුහුදු ස්වාභාවය ද හේතුකොටගෙන සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම අනතුරටපත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු එම මෙහොතේදීම මුදවා ගැනීමට සමත් වූ අතර, යාත්‍රාවේ සිටි බව කියන තවත් ධීවරයෙකු සොයා මුදවා ගැනීමේ මෙහෙයුමක් පෙරදින (2021 ඔක්තෝබර් 18) සවස් කාලයේ සිට ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා එම මුහුදු ප්‍රදේශයේ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින අතර, මෙම ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති බැවින්, එම යාත්‍රාව කංකසන්තුරය වරාය වෙත ආරක්‍ෂාකාරීව අළුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබේ.

එමෙන්ම මෙම අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් අදාල ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකෙරේ.