ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 23ක් 2021 ඔක්තෝබර් 13 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදේශිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් සහ වෙරළ බඩ මුර යාත්‍රාවන් යොදවා පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මඟින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 23 දෙනෙකු මෙලෙස 2021 ඔක්තෝබර් 13 දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද එම ධීවර යාත්‍රාවන් තුල නීතී විරෝධී bottom trawling ධීවර ආම්පන්න සමඟ එම පන්න ක්‍රමය භාවිතා කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින් ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවන් සහ එහි සිටි ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා අදාල අංශ වෙත යොමු කරන තෙක් නාවික හමුදා ආරක්‍ෂාව යටතේ රඳවා තබා ඇත.

තවද, නාවික හමුදාව විසින් අවසන්වරට පසුගිය 2021 මාර්තු මස 24 වන දින මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, පැවති වසංගතතත්වය හමුවේ එවැනි විදෙස් ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම් සීමා කළද, එවැනි ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීම අඛණ්ඩව සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා මෙරට මත්ස්‍ය සම්පත මෙන්ම දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉදිරියට මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.