නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2344කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 05 සහ 06 දිනයන්හි වයඹ මුහදේ සහ මරතන්ඩිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2344ක‍ට අධික තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත පී 141 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් ඉප්පන්තිවු දූපත ‍දෙසට පැමිණෙන සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර එම මුහුදු ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 05 වන දින අළුයම විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ එක් (01) සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 12ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 503 ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව, එම දූපත් ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද ඩිංගි යාත්‍රාවක තිබූ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 17ක අසුරන ලද තවත් වියලි කහ කිලෝග්‍රෑම් 707 ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, එදිනම (2021 ඔක්තෝබර් 05) ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත පී 228 සහ පී 261 වෙරළබඩ මුර යාත්‍රා මඟින් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නාවික මෙහෙයුම් හමුවේ ඉන්දීය ධීවර යාත්‍රාව වෙතින් සැකකටයුතු ලෙස උර කිහිපයක් මුහුදට දමා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට යාත්‍රා කරන ලද අතර, ඒ අනුව, එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබූ උර 14ක අසුරන ලද තවත් වියලි කහ කිලෝග්‍රෑම් 430 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, අද (2021 ඔක්තෝබර් 06) වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත මැරීන් කණ්ඩායමක් විසින් මරතන්ඩිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළට ආසන්න ලඳු කැළෑවක සඟවා තිබූ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 17ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 704 ග්‍රෑම් 100ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාව සිදුකළ මෙම මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2344 ග්‍රෑම් 100ක පමණ තොගයක්, සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 39 යන වයස් වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගත් අතර, එම සැකකරුවන් සමඟ නාවික හමුදා භාරයට ගත් වියලි කහ කිලෝග්‍රෑම් 503 ක පමණ ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක‍ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

තවද ජාවාරම් කරුවන් විසින් අතහැර දමාගොස් තිබියදී සහ සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව සහ වියලි කහ තොගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ ආරක්‍ෂිතව තබා ඇත.