දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 4940 ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 01) මීගමුව, හලාවත කරුකපනේ, යාපනය අනලතිවු සහ 2021 සැප්තැම්බර් 30 වන දින රාත්‍රීයේ යාපනය, චාවකච්චේරි යන ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4940 කට අධික තොගයක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1111කට අධික තොගයක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්ණී ආයතනය මඟීන් අද (2021 ඔක්තෝබර් 01) හලාවත, කරුකපනේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රාව තුළ උර 47ක අසුරා තිබූ නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1738ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ලදී. තවද, මෙම වියලි කහ තොගය රැගෙන යාම සඳහා එම වෙරළ තීරයට පැමිණ සිටි බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ ලොරි රථ දෙකක් (02), වෑන් රථයක් සහ කැබ් රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. තවද, එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි කිරීම් වලදී එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ තවත් උර 77ක අසුරන ලද වියලි කහ කිලෝ 2218ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ එළාර ආයතනය මඟින් අද (2021 ඔක්තෝබර් 01) යාපනය අනලතිවු දූපතේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මළු 20ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 495 පමණ ප්‍රමාණක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

තවද, බටහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ කැළණි ආයතනය මඟින් අද (2021 ඔක්තෝබර් 01) මීගමුව, ගිංගඟ මෝය ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ උර 31ක අසුරන ලද බීඩි කොළ කිලෝ 1111 ග්‍රෑම් 650ක් සහ උර 05ක අසුරන ලද වියලි කහ කිලෝ 175 ග්‍රෑම් 650ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික අනුකණ්ඩය මඟින් 2021 සැප්තැම්බර් 30 වන දින රාත්‍රීයේ යාපනය, චාවකච්චේරි වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ ධීවර වාඩියක සඟවා තිබූ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ උර 08ක අසුරන ලද වියලි කහ කිලෝ 313 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, එම වියලි කහ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යතුරුපැදි දෙකක් ද (02) එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4940 කට අධික තොගයක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1111කට අධික තොගයක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 39ත් අතර වයසේ පසුවන නාරන්ගොඩ, මාවනැල්ල, නිකවැරටිය, පුත්තලම, කරුකපනේ, තාලයඩි සහ අනලතිවු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. මෙම මෙහෙයුම් මඟින් අනලතිවු සහ චාවකච්චේරි ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ සහ යතුරු පැදි ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි හා කයිට්ස් පොලීස් ස්ථාන වෙත භාරදීමට කටයුතුකළ අතර, මීගමුව සහ කරුකපනේ ප්‍රදේශයන්හීදී සිදුකළ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ, බීඩි කොළ, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් වාහන ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.