නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ යාපනය කළපුවේ සහ සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2021 සැප්තැම්බර් 09 සහ 10 දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී උතුරු නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 09 වන දින රාත්‍රියේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු යාපනය කළපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කළපුව ඔස්සේ ගුරුනගර් දෙසට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරික්‍ෂණය කරන ලදී. එහිදී වේළුසුමන ආයතනය මගින් පි 010 වෙරළබඩ මුර යාත්‍රාව සහ කුඩා යාත්‍රා කණ්ඩායමක් යොදවා එම සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරික්‍ෂාවට ලක් කිරීමේදී එම යාත්‍රාව තුල උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 617 ග්‍රෑම් 450ක පමණ තොගයක් සොයා ගන්නා ලද අතර, එම වියළි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව සැකකරුවන් තිදෙනෙකු (03) සමග නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, අද (2021 සැප්තැම්බර් 10) අළුයම වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම යාත්‍රාව තුල තිබූ උර 14ක අසුරන ලද වියලි කහ කිලෝ 519 ක පමණ ප්‍රමාණයක් සහ එම ඩිංගි යාත්‍රාව එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.ඒ අනුව උතුරු සහ වයඹ නාවික විධානයන් මගින් 2021 සැප්තැම්බර් 09 සහ 10 දෙදින සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1136කට අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 45ත් අතර වයසේ පසුවන පාසූර්, ‍වලෙයිපාඩු සහ සිලාවතුර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. තවද, යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති අතර, සිලාවතුර ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.