තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මඟින් හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් පී 480 වේග ප්‍රහාරක මුර යාත්‍රාව සහ පී 053 යන වෙරළබඩ මුර යාත්‍රාව යොදවා පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 06 වන දින සවස් කාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී, එහිදී නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ දමා යන ලද පාර්සල් 10ක අසුරන ලද කේරල ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට හැකිවිය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.