නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 95 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 01 වන දින සිට 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 95 ක් සහ ධීවර යාත්‍රා 29 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව නාවික හමුදාව විසින් පසුගිය අගෝස්තු මාසය තුළ සිදුකළ මෙහෙයුම් මඟින් වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, වලංගු බලපත් නොමැතිව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදු කරමින් මූහුදු කූඩැල්ලන් ඇල්ලීම, විදුලි ආලෝක ධාරා යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 59 ත් අතර වයසේ පසුවන කින්නියා, එච්චාලම්පත්තු, මූතූර්, ලංකාපටුන, නිලාවේලි, ඉලුප්පුකඩවායි, ත්‍රිකුණාමලය, මන්නාරම, පුනරීන්, කල්කුඩා, වලෙයිතොට්ටම්, වාලච්චේන, කල්මුණේ, කිරන්චි, සෙට්ටිපරයාලම්, කොවිල්කුඩුඉරිප්පු සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, තාවුල්පාඩු, කිළිනොච්චි, මඩකළපුව, කල්මුණේ, වෙරුගල්, ත්‍රිකුණාමලය, මන්නාරම සහ වාකරේ, යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, ජයපුරම් සහ කුච්චවේලි පොලිස් ස්ථාන වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.