නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු 31 වන දින මීගමුව කළපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් 2021 අගෝස්තු 31 වන දින රාත්‍රී කාලයේ මීගමුව කළපුවේ සිදුකළ මුර සංචාරයකදී එම කළපුව තුළට පැමිණෙමින් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නීරීක්‍ෂණය කර එම යාත්‍රාව පරීක්‍ෂා කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර 29ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1050ක පමණ තොගයක් සමඟ එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් එදිනම (2021 අගෝස්තු 31) අළුයම් කාලයේ මීගමුව කළපුව තුළට පැමිණෙමින් තිබූ තවත් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර එම යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලද අතර, එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබී උර 26ක අසුරන ලද වියලි කහ කිලෝ 973 ග්‍රෑම් 650 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම සමස්ථ මෙහෙයුම් මඟින් වියලි කහ කිලෝග්‍රෑම් 2023 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 37 යන වයසේ පසුවන මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී. තවද, සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමා ගොස් තිබියදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.