ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ වියලි කහ කිලෝ 235කට අධික ප්‍රමාණයක් ඕළුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 21 වන දින මන්නාරම, ඕළුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මඟින් මන්නාරම, ඕළුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ 2021 අගෝස්තු මස 21 වන දින අළුයම සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ තීරයට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබාන ලද, උර 7ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 235ක අධික ප්‍රමාණයක් සමඟ එම කහ ගොඩබිමට ප්‍රවාහනය සඳහා යොදා ගැනිමට තිබු බවට සැක කෙරෙන අත් කරත්තයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. තවද, වෙරළ ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකරනු ලබන මුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් රට තුලට රැගෙන ඒමට නොහැකිව මෙම වියලි කහ තොගය මෙලෙස ‍වෙරළ තීරයේ දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ අත් කරත්තය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.