නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 89 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 01 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 89 ක් සහ ධීවර යාත්‍රා 30 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

මෙහිදී වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් මූහුදු කූඩැල්ලන් ඇල්ලීම, අනවසර ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නියැලීම, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම, තහනම් පන්න ක්‍රම යොදා ගනිමින් මසුන් ඇල්ලීම, තහනම් මසුන් ඇල්ලීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 60 ත් අතර වයසේ පසුවන මුතූර්, කින්නියා, පොඩුවකට්ටු, සල්ලිසාම්බල්තිවු, කල්මුණේ, පුත්තලම, කල්පිටිය, හසලක, කුරින්චන්පිටිය, ආනවාසල, වෙත්තලකේණි, යාපනය, තලෙයිමන්නාරම, එරක්කන්ඩි, කින්නියා, පල්ලේමුණේ, මන්නාරම, නිලාවේලි, ත්‍රිකුණාමලය සහ කුච්චවේලි, යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, තිරුක්කෝවිල්, පුත්තලම, මුලතිව්, ත්‍රිකුණාමලය, මන්නාරම, නිලාවේලි, යාපනය, යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, සාම්පූර්, කුච්චවේලි පොලීසිය සහ නිලාවේලි වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නිරත්තර මෙහෙයුම් ඉදිරියටත් සිදු කරනු ලබයි.