රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 ජූලි 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත පී 177 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ කේරළ ගංජා සහිත මළු 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම, එම මුහුදු ප්‍රදේශයේ පී 015 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදි එම මුහුදු‍ ප්‍රදේශයේ පාවෙමින් තිබූ තවත් කේරළ ගංජා සහිත උරයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම සමස්ථ මෙහෙයුම් මඟින් කෙරළ ගංජා කිලෝ 109 ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

තවද, උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරතව සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සමඟ උතුරු නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මෙම මෙහෙයුම සිදුකළ නාවික පුද්ගලයින් හමුවී ඔවුන් ඇගයීමට ද එහිදී කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 32 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 26 සහ 28 යන වයසේ පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.